2018 මාර්තු 17 වන සෙනසුරාදා

කොස්වත්ත හන්දිය චිකාගෝවක් කළ ගෝරිය

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 403

“කුඩුවෙන්න තියන්නේ... කුඩුවෙන්න තියන්නේ...”

පිස්තෝලයක් අතින් ගත් උස මහත රූමත් කාන්තාවක් මහ හයියෙන් ගෝරණාඩු තබමින් තර්ජනය කරන්නීය. ඇයගේ දකුණු අතේ රැඳි පිස්තෝලයකි. එය ඉහළට ඔසවා සැරපරුෂ වචන හරඹ කරන ඈ බිම පෙරළාගත් පිරිමි පුද්ගලයකුට පහර දෙන්නීය. ඇය තම වම් අතින් බිම පෙරළා දැමූ පුද්ගලයාගේ පාදයක් අල්ලාගෙනය. එසේ අල්ලාගෙනම ඇගේ වම් පාදය ඉක්මන් කරන්නේ බිම වැටුණු පුද්ගලයාට පා පහර දෙන්නටය. මේ කාන්තාවගේ ඉදිරිපසින් ඇයට සහායට තවත් පුද්ගලයෙකි. ඔහුත් එකපිට එක බිම වැටුණු පුද්ගලයාට අතින් පයින් පහරදෙයි. කොතෙක් වීරිය ගත්තද පහරකන පුද්ගලයාට මේ හැඩිදැඩි යුවළගෙන් මිදීමට අවස්ථාවක් නැත.

මොවුන්ගේ පහරපිට පහර එල්ල කරන අනපේක්ෂිත ගැටුම අසල වූ බස්රථයක ගමන් ගත් මගියෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළේය. එහි දර්ශනය ත්‍රාසජනක චිත්‍රපට දසුනක් හා සමානය.

කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයේ කොස්වත්ත මංසන්ධියේ දී මේ සිදුවීම වාර්තා වූයේ පසුගිය 9 වැනි සිකුරාදා පෙරවරු 10.30ට පමණය. මෙහිදී පහරකෑමට ලක්වූ 177 මාර්ග අංක යටතේ කඩුවෙල - කොල්ලුපිටිය අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස්රථයක රියැදුරුවරයාට පිස්තෝලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් මහතා සහ ඔහුගේ බිරිය තාරකා මධුභාෂිණී පෙරේරා යුවළ තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන 10 වැනිදා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ පසුව 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නට නියම කරනු ලැබූහ.

මෙම පහරදීම වාර්තා වන්නට පෙරාතුව කඩුවෙල දෙස සිට බත්තරමුල්ල දෙසට ධාවනය වූ රථවාහන රැසකි. ඒ අතර සුඛෝපභෝගී මෝටර් රථයකි. එය පසුපසින් පැමිණ තිබුණේ කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයකි. කොස්වත්ත මංසන්ධිය ආසන්නයට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය මංතීරු තුනකින් සමන්විත මාර්ගයේ මැද කොටස සිට වම්පසට හරවන්නට උත්සාහ කළේය. ඒ ප්‍රසිද්ධ නිමිඇඳුම් අලෙවිසලක රථවාහන අංගනය වෙත ඇතුළු වීමටය. හදිසියේ රථය වමට හැරවුවද ඇතුළට ධාවනය වූයේ නැත. හේතුව රථගාලේ සිට පිටතට එන වාහනයක් ද යන්න හඳුනාගත නොහැකිව තිබුණි. කෙසේ වෙතත් මේ වෙද්දී සුඛෝපභෝගී මෝටර් රථයේ ඉදිරිපස ටයර් දෙක පදික වේදිකාවේ අඩක් වසාගෙනය. රථයේ ඉතිරි භාගය මාර්ගය කොටසක් වසාගෙනය. මේ හේතුවෙන් ඊට පසුපසින් පැමිණි පෞද්ගලික බස්රථයට ඉදිරියට යාමට හැකියාවක් නොවීය. ඒ තරමට ප්‍රධාන මාර්ගය ඇහිරී ගොස්ය. අවහිරය මඟහරවා ගනු පිණිස බස්රථයේ රියැදුරු නළාව ශබ්ද කළේය. එහෙත් නවීන රථය ඉඩ ලබාදෙන බවක් පෙනෙන්නට නොවූයෙන් බස්රථ රියැදුරු එකදිගට නළාව ශබ්ද කළේය.

මෙම ක්‍රියාවට උරණ වී හෝ වෙනත් හේතුවක් මත සුඛෝපභෝගී රථය එතැනම තවදුරටත් නවතා තිබුණි. මේ අසලම බස් නැවතුම ඇති නිසා මගීන්ට බැසීමට බස්රථය නැවැත්වීමට ද අවස්ථාවක් නොතිබිණි. මේ අවස්ථාවේ කෝපයට පත් බස්රථ රියැදුරු බස් රථය එතැනම නවතා රථයෙන් බැස පෙර කී සුඛෝපභෝගී රථයේ රියැදුරු අසුන ළඟට ගොස් බැණවැදුණේය. මෙහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූයේ ප්‍රදේශවාසීන්ටත් ඇසෙන පරිදිය. වැඩි වේලාවක් ගතවන්නට මත්තෙන් සුඛෝපභෝගී රථයෙන් බැසගත් කාන්තාව අත පිස්තෝලයක් ද විය. ඇය එය අතින් ඉහළට ඔසවාගෙන.

කුඩුවෙන්න තියන්නේ... යැයි තර්ජනය කරමින් රියැදුරුට අතින් පයින් පහරදෙන්නට වූවාය. ඒ අතරට රථයෙන් බැසගත් කාන්තාවගේ සැමියා බස්රථ රියැදුරු බිම පෙරළා දමා වැරෙන් පහරදෙන්නට විය. සුඛෝපභෝගී ජිප්රථය තුළින් ආ යුවළ අමානුෂික ලෙස බස්රථ රියැදුරුට මෙසේ පහරදුන්නේ කොස්වත්ත නගරයේ සහ රථවාහන තුළ රැඳීසිටි සිය ගණනක් වූ ජනතාව ඉදිරියේය. සියලු දෙනා ගැටුම දෙස බලාසිටිය ද පහරදෙමින් සිටි කාන්තාව අතේ අමෝරාගත් ගිනිඅවියක් තිබූ බැවින් කිසිවෙක් ඊට මැදිහත් වූයේ නැත. බස් රථයක පැමිණි මගියෙක් මේ ගැටුම ජංගම දුරකතනයකින් පටිගත කළ අතර තවත් අයෙක් සිදුවීම පිළිබඳව තලංගම පොලීසිය වෙත දන්වා තිබුණි.

ඒ සමඟ එතැනට පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් ගැටුම නවත්වා පහරදෙමින් සිටි යුවළ ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගනු ලැබූහ. එහිදී සැකකාර කාන්තාව අත වූයේ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් බවද එය දකුණු පළාත් සභා මන්ත්‍රීවරයාට නිකුත් කර තිබූ බලපත්‍ර සහිත අවියක් බවද හෙළිවිය. එහි ජීවඋණ්ඩ පහක් ද තිබූ අතර තුවාල ලබාසිටි බස්රථ රියැදුරු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන්නට පොලීසිය ක්‍රියා කළේය.

අනතුරුව සුඛෝපභෝගී මෝටර් රථයේ පැමිණි කාන්තාව පොලීසියේ පැමිණිල්ලක් සටහන් කළේ තමන්ට බස්රථ රියැදුරු මුලින්ම පහරදුන් බව කියමින්ය. එමෙන්ම පහරකෑ බස්රථ රියැදුරු පැමිණිලි කර තිබුණේ පෙර කී යුවළ ඔහුට පහරදුන් බව කියමිනි. පොලීසියේ දී අනාවරණය වූයේ සුඛෝපභෝගී ජිප්රථයේ පැමිණ මේ ගැටුමට මැදි වී ඇත්තේ දකුණු පළාත් සභාවේ මන්ත්‍රී එම්.කේ. කසුන් හා ඔහුගේ බිරිය බවටය. මෙම මන්ත්‍රීවරයා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටියදී කොළඹ ප්‍රදේශයේ දී වෙඩිතැබීමකින් ඝාතනය වූ එම්.කේ. රංජිත් (චණ්ඩි මල්ලි) යන අයගේ පුත්‍රයා බවද අනාවරණය විය.

ඉදිරි අධිකරණ කටයුතු සඳහා පහරදීමේ සිදුවීම ඇතුළත් වීඩියෝව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී දිස්ත්‍රික් III කවින්ද ජයසේකර, තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන් මාහින්කන්ද, තලංගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන මෙහෙයවති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05